History of Psychology 1 (මනෝවිද්‍යාවේ ඉතිහාසය)

by - April 10, 2016


පි යම් දෙයක් ගැන හරි හැටි අවබෝධයකට එන්න නම් අපිට එහි ඉතිහාසය ගැන යම් අවබෝධයක් තිබීම අත්‍යවශය වෙනවා මන්ද. එසේ නොමැති වුවහොත් අපිට ඒ දෙය හරියට අවබෝධ කරගත නොහැකි වීමයි. ඒ වගේ තමා මනෝවිද්‍යාව ගැන ඉගෙන ගන්නවිට අපි මනෝවිද්‍යාවේ ඉතිහාසය ගැන හොදින් දැනගෙන ඉන්න ඕනේ එවිට අපිට මනෝවිද්‍යාව කියන විෂය හරියට අවබෝධ කරගන්න පුලුවන්.  මගේ කලින් ලිපිය වුනේ Introduction of Psychology (මනෝවිද්‍යාවේ හැදින්වීම) කියවපු නැති අයට මෙතනින් ගිහින් කියවන්න පහසුකම් තියනවා. හරි අපි මාතෘකාවට එමු.

නෝවිද්‍යාවේ තිහාසය 

                 මනෝවිද්‍යාවේ ඉතිහාසය දෙස බලනවිට අපිට පැහැදිලිව දිස් වෙන්නේ 19 වන ශතවර්ෂයේ අගභාගයේදී මනෝවිද්‍යාව ස්වාධීන විද්‍යාත්මක විෂයක් ලෙසට පත් වූ බවයි. නමුත් ඊටත් එහා ඉතිහාසයක සිට මනෝවිද්‍යාව භාවිත විය බුදුරජානන් වහන්සේ මනෝවිද්‍යාව උපරිමයෙන් යොදාගෙන ඇත. ඒ මිනිසුන්ගේ උපරිම සුබසිද්ධිය සදහා. අපි විෂයානුබද්ධව කතා කරන විට අපිට ප්‍රධාන වශයෙන් යුග 3ක් පෙන්වාදිය හැකිය. එනම්,

  1. ග්‍රීක යුගය,
  2. මධ්‍යතනික යුගය,
  3. නූතන යුගය.
ග්‍රීක යුගය

                      ග්‍රීක යුගයේ ග්‍රීක ජාතිකයන් ඉතා ඈත කාලයක සිට ආත්මය ගැන නැතහොත් "සයිකි" සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත. ඒ වගේම ග්‍රීක දාර්ශනිකයන් ද ආත්මයේ ස්වාභාවය සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබදව අධ්‍යයනය කල අතර ග්‍රීක වෛද්‍යවරුන් ආත්මයේ ආබාධ හෙවත් මානසික ගැටලු සම්බන්ධයෙන් උනන්දු වූහ. ග්‍රීක යුගයේ මනෝවිද්‍යාවේ විකාශනය ගැන කතා කරන විට ප්ලේටෝ, ඇරිස්ටෝටල්, හිපොක්‍රිටීස් යන දාර්ශනිකයන් ප්‍රමුඛස්ථානයක් හිමිකරගනී.

ඒ අතරින් ක්‍රි.පූ 4 වන සියවසේ අගභාගයේ ආත්මය සම්බන්ධයෙන් කරුණු පරික්ෂා කල ග්‍රීක දාර්ශනික වූ ප්ලේටෝ මිනිසාගේ ශරීරය සහ ආත්මය අතර ඇති සම්බන්ධය මැනවින් විග්‍රහ කලහ. ඔහුට අනුව කිසියම් පුද්ගලයෙකුගේ ආත්මය කිසියම් අවිනාශී, පරමාදර්ශී ස්ථානයක රැදී පවතින බවත්, පුද්ගලයෙකුගේ මරණයේදී මිනිස් ශරීරය පමනක් විනාශ වන අතර ආත්මය නැවත එහි පරමාදර්ශී ස්ථානය කරා ගමන් කරන බව ප්ලේටෝගේ මතය විය. ඒ වගේම ඔහු මනුෂ්‍යයාට අවැසි සජීවී ගුණය සහ ගති ලක්ෂණ මේ අමරණීය ආත්මය විසින් ලබාදෙන බවත් පවසා ඇත. එනම් මිනිසාගේ සියලුම ජෛව ක්‍රියාකාරකම් මේ ආත්මය ලබා දෙන බව ප්ලේටෝ අවධාරණය කර ඇත.

ප්ලේටෝ මනෝවිද්‍යාවේ ප්‍රධාන සංකල්පයක් වන පෞරුෂත්වය පිලිබදව ද විග්‍රහ කර ඇත. පුද්ගලයාගේ පෞරුෂත්වයේ ගති ලක්ෂණ පදනම් කරගෙන රටක ජනගහණය ප්‍රධාන කොටස් 3කට බෙදා වෙන් කළ හැකි බව පෙන්වා දී ඇත. එනම්,
  • පාලක,
  • රණකාමී,
  • නිෂ්පාදක.
මේ එකිනෙකාගේ පෞරුෂ වර්ගයේ ගති ලක්ෂණ සහ ඒවාට අයත් පෞද්ගලික කුසලතා ද වෙනස් වන බව ප්ලේටෝ පෙන්වාදී ඇත. ඒ අනුව ඔවුන් මෙහෙයවීමට එකිනෙකාට වෙනස් ක්‍රමවේදයන් භාවිත කළ යුතු බව ඔහු පැවසුවේ ය.

ප්ලේටෝගේ ප්‍රධාන ගෝලයා වූ ග්‍රීක දාර්ශනික ඇරිස්ටෝටල් ද ප්ලේටෝගේ මතය සනාථ කරමින් ඒ සඳහා තව කරුණු එකතු කළේය. ප්ලේටෝගේ "ආත්මය අවිනාශී සහ අමරණීය ය" යන අදහස ඇරිස්ටෝටල් ද අනුමත කල අතර එය පුද්ගලයාගේ ජිවයේ මූලධර්ම බව පැවසුවේ ය.

මිනිසුන්ට පමනක් නොව ශාක, සත්ත්ව යන අංශ වලටද ආත්මයක් පවතින බවත් මිනිස් ආත්මය හේතුවාදී සහ සත්ත්ව ආත්මය චිත්තවේගාත්මක බවත් පැවසුවේය එනම් මිනිසුන් තර්කානුකූලව කටයුතු කරන අතර, තර්කානුකූලව තම චිත්තවේග පාලනය කරයි, නමුත් සතුන් එසේ නොවේ සතුන් චිත්තවේගානුකූලව කටයුතු කරයි. එමෙන්ම ප්ලේටෝගේ ආත්මයේ ඉගැන්වීම සම්බන්ධයෙන් කළ ඉගැන්වීම් තවදුරටත් වර්ධනය කරමින් ඇරිස්ටෝටල් අධිෂ්ඨානය, ස්වච්ඡන්දතාව, කරුණාව සහ මෛත්‍රිය ද මිනිසාට ලබා දෙන්නේ ද ආත්මය මගින් බව පැවසුවේය.

ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් ග්‍රීක යුගයේදී මනෝවිද්‍යාවේ සංවර්ධනයට ඉතා විශාල මෙහෙයක් ඉටු කල අතර ඔවුන් මනෝවිද්‍යාවේ සෛද්ධාන්තික අංශය ගොඩනැගූහ. ඒ අතර මනෝවිද්‍යාවේ ප්‍රතිකාර අංශය ගොඩනැගීමට පූර්ණ දායකත්වයක් දැරූයේ ග්‍රීක දාර්ශනිකයෙකු මෙන්ම මනෝවිද්‍යාවේ පියා ලෙස හදුන්වන හිපොක්‍රටීස් ය. හිපොක්‍රටීස් ඔහුගේ ගෝලයන් සමග මනෝවිද්‍යාවේ වර්ධනයට සහ මනෝ ප්‍රතිකාර ක්ෂේත්‍රය වර්ධනය කිරීමට ඉතා සුවිසල් දායකත්වයක් දැක්වුහ.

අතීතයේ මානසික රෝග කිසියම් අදෘශ්‍යමාන බලවේගයක ක්‍රියාකරකමක් වනවාය යන මතය ප්‍රතිකේෂ්ප කොට මිනිස් ආත්මය නැතහොත් විඥානයේ ක්‍රියාකාරීත්වයේ ඇතිවන දෝෂයක ප්‍රතිඵලයක් වන බවට විග්‍රහ කොට දැක්වූහ. ඒ වගේම සංගීතය, පෝෂදායී ආහාර, ව්‍යායාම, විවේකය මගින් එම දෝෂ නිවැරදි කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වාදී ඇත.

හිපොක්‍රටීස්ගෙන් පසුව මනෝවිද්‍යාවේ ප්‍රතිකාර අංශය වර්ධනය කිරීමෙහිලා ග්‍රීක, රෝම සහ අරාබි ජාතික ජාතික වෛද්‍යවරුන් ද පුරෝගාමීත්වය දක්වා ඇත.. ඒ අතරින් ක්‍රි.ව 1000 දී ජීවත් වූ "අවිසෙන්" නැමැත්තා සුවිශේෂී වේ.

ක්‍රි.ව 5වන සියවසෙන් පසුව එනම් රෝම අධිරාජ්‍යය බිඳවැටීමෙන් පසුව මධ්‍යතනික යුගය ආරම්භ විය. මධ්‍යතනික යුගය මනෝවිද්‍යාවේ වර්ධනයට කෙසේ සහය වූවාද යන්න මගේ ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

ඔබට ජය!!!!! 

╔═. ♆. ═════════════════════════╗
Bless of your Mind!!!!!
╚══════ .♆. ════════════════════╝

You May Also Like

1 comments

  1. ගොඩක් හොඳයි. තවදුරටත් ඉදිරියට යන්න තෙරුවන් සරණයි.

    ReplyDelete

The Life (PSYCHOLOGY UNIVERSE)